සිංහල කොවිඩ් සමයේ පවුල් 200කට අධික සංඛ්යාවකට එළවළු පාර්සල් බෙදාදීම

දිනය: 2020 නොවැම්බර් 10
ව්යාපෘතිය: කොවිඩ්-19 හේතුවෙන් අපහසුතාවයට පත් පවුල් සඳහා ආහාර සහන වැඩසටහන
ප්රතිලාභීන්: පවුල් 200කට අධික සංඛ්යාවක්
2020 කොවිඩ්-19 වසංගතයත් සමඟ බොහෝ පවුල්වල දෛනික ජීවිතය හදිසියේම වෙනස් වුණා. ගමනාගමනය හා රැකියා අවස්ථා සීමා වීමත් සමඟ දෛනික ආදායම මත ජීවත් වූ පවුල් රැසකට ආහාර ද්රව්ය සපයාගැනීම පවා අපහසු වූ කාලයක් එයයි. එවැනි පවුල් වෙනුවෙන් අපට හැකි අයුරින් යම් උපකාරයක් ලබාදීමේ අරමුණින් මෙම එළවළු බෙදාදීමේ වැඩසටහන ක්රියාත්මක කළා.
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයෙන් එළවළු රැගෙනවිත්, එක් පාර්සලයකට එළවළු වර්ග පහක් සහ කොළ මිටියක් ඇතුළත් වන පරිදි කිලෝග්රෑම් දෙකකට වඩා බර එළවළු මලු සකස් කළා. එලෙස සකස් කළ පාර්සල් පවුල් 200කට අධික සංඛ්යාවකට ලබාදීමට අපට හැකි වුණා.
මෙහි විශේෂත්වය වූයේ එළවළු ලබාගැනීමේ සිට ඒවා වෙන්කර, පිරිසිදු කර, පාර්සල් සකස් කර අවශ්ය පවුල් වෙත ගෙනයාම දක්වා වූ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ සිදුකිරීමයි. දඹුල්ලෙන් ගෙනා නැවුම් එළවළු දිනක් ඇතුළතම පවුල් වෙත ලබාදීමට අපි උත්සාහ කළා. ඒ සඳහා අප කණ්ඩායමට දිවා රෑ නොබලා වැඩ කිරීමට සිදු වුණත්, අවසානයේ පාර්සලයක් අතට ගන්නා පවුලක සතුට දකින විට ඒ මහන්සිය අමතක වුණා.
මෙම කාර්යය තනිව කළ හැකි දෙයක් නොවෙයි. දින දෙකක් පුරා නිදි නොබලා මා සමඟ කටයුතු කළ ධනුෂ්ක නිශාන්ත මල්ලි, යසිතා මුනසිංහ, මගේ අයියා ඇතුළු පවුලේ සියලුදෙනාගේ දායකත්වය මෙහිදී ආදරයෙන් සිහිපත් කළ යුතුයි. එසේම මගේ පාසල් මිතුරු සමන් ජානක මහතාද, සහන අවශ්ය පවුල් අප වෙත සම්බන්ධ කළ හිතවතුන්ද, විවිධ ආකාරයෙන් සහයෝගය ලබාදුන් සියලුදෙනාද මෙම කාර්යයේ කොටස්කරුවන් වුණා.
මේ මලු තුළ තිබුණේ එළවළු කිලෝ කිහිපයක් පමණක් විය හැකියි. නමුත් කොවිඩ් නිසා අසරණ වූ පවුලකට ඒ මොහොතේ එය දින කිහිපයක ආහාර වේලක් සකස් කරගැනීමට ලැබුණු සහනයක්. සුළුවෙන් හෝ තවත් මනුෂ්යයෙකු වෙනුවෙන් යමක් කිරීමට හැකිවීම ගැන අදටත් මට සතුටක් තිබෙනවා.
































සංවාදයට එක්වන්න.