ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත "මහාවංස ප්රදීපිකාව" පූජා කිරීම
Mt. Lavinia · Colombo · ශ්රී ලංකාව · ශ්රී ධර්මෙන්ද්රා රාම විහාරය

දිනය: 2026 ජූනි 03
මගේ වසර දහයකට ආසන්න කාලයක පර්යේෂණයේ සහ නිර්මාණාත්මක කැපවීමේ ප්රතිඵලයක් වූ "මහාවංස ප්රදීපිකාව" ග්රන්ථයේ පිටපතක් ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්ය කරගොඩ-උයන්ගොඩ මෛත්රී මූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත පූජා කිරීමට ලැබීම මගේ ජීවිතයේ ඉතාමත් ගෞරවනීය අවස්ථාවක් විය.
ග්රන්ථය පිළිගැනීමෙන් අනතුරුව උන් වහන්සේ එය ඉතා උනන්දුවෙන් පරිශීලනය කළහ. පිටු 650කින් සමන්විත ග්රන්ථයේ පිටු 100කට ආසන්න ප්රමාණයක් එම අවස්ථාවේදීම නිරීක්ෂණය කරමින් එහි අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කිරීම කර්තෘවරයා ලෙස මට මහත් සතුටක් ගෙන දුන් අවස්ථාවක් විය.
ග්රන්ථය පිළිබඳව සිය සතුට ප්රකාශ කළ නාහිමිපාණන් වහන්සේ, මෙය නිර්මාණය කිරීම වෙනුවෙන් මා කැප කළ කාලය කිසිදිනක අපතේ නොයන බවත්, මෙම ග්රන්ථය සැබැවින්ම "මහාවංසයට ප්රදීපිකාවක්" බවත් සඳහන් කළහ. වසර ගණනාවක් පුරා මා කළ පර්යේෂණයට සහ කැපවීමට ලැබුණු එම වචන මට ඉතා වටිනා ආශිර්වාදයක් සහ ඇගයීමක් විය.
උන් වහන්සේට තව තවත් ශ්රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කිරීමට ධෛර්යය, ශක්තිය සහ නිරෝගී සුවය ලැබේවායි ප්රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි.

සංවාදයට එක්වන්න.