මල්වතු මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම
මහනුවර · Kandy · ශ්රී ලංකාව · මල්වතු මහා විහාරය, මහනුවර

දිනය: 2026 මැයි 06
ස්ථානය: මල්වතු මහා විහාරය, මහනුවර
වසර දහයකට ආසන්න කාලයක් පුරා සිදු කළ අධ්යයනය, පර්යේෂණය සහ අප්රමාණ කැපවීමක ප්රතිඵලයක් ලෙස මා විසින් රචනා කළ "මහාවංස ප්රදීපිකාව" ග්රන්ථය 2026 මැයි 16 වැනිදා ජනගත කිරීමට පෙර, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම මාගේ විශේෂ බලාපොරොත්තුවක් විය.
ඒ අනුව 2026 මැයි 06 වැනිදා මහනුවර මල්වතු මහා විහාරය වෙත ගොස්, සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ බැහැදැකීමේ භාග්යය මට හිමිවිය. එහිදී "මහාවංස ප්රදීපිකාව" ග්රන්ථය උන්වහන්සේ වෙත ගෞරවයෙන් පිළිගන්වා ආශිර්වාද ලබාගත්තෙමි.
ඉතිහාසය නව පරපුරට වඩාත් සජීවීව සහ ගැඹුරින් හඳුන්වාදීමේ අරමුණින් අලංකාර සහ ගුණාත්මක ලෙස සම්පාදනය කළ මෙම ග්රන්ථය පිළිබඳව උන්වහන්සේ විශේෂ ප්රසාදය පළ කළහ. දරු පරපුර තුළ ඉතිහාසය පිළිබඳ අවබෝධය සහ ජාතික හැඟීම වර්ධනය කිරීමට මෙවැනි වටිනා කෘති තවදුරටත් නිර්මාණය කිරීමට අවශ්ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරමින් උන්වහන්සේ මා වෙත ආශිර්වාද කළහ.
"මහාවංස ප්රදීපිකාව" ජනගත කිරීමට දින දහයකට පෙර ලැබුණු මෙම ආශිර්වාදය, වසර දහයකට ආසන්න කාලයක් පුරා මා ගමන් කළ දිගු ගමනේ අතිශය වැදගත් සහ මතකයේ රැඳෙන අවස්ථාවක් ලෙස මගේ ජීවිතයේ සටහන් වේ.
අතිපූජ්ය මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේට ශ්රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තවදුරටත් මහත් සේවාවක් සිදු කිරීමට අවශ්ය ශක්තිය සහ ධෛර්යය ලැබී, දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවයෙන් දිගු කලක් වැඩ වාසය කිරීමට ලැබේවායි ගෞරවයෙන් ප්රාර්ථනා කරමි.

සංවාදයට එක්වන්න.